HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විද්‍යාඥයන්ට ඇමෙරිකාවෙන් හමුවුණු විස්මිත ඩයිනසෝරයා

විද්‍යාඥයන්ට හමුවුණු අලුත් ඩයිනසෝර යෝධයකු ගැන කියන්නයි මේ හදන්නේ. ඇමෙරිකා - කැනඩා දේශසීමාවේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි ජූඩිත් ගංගාව පිහිටි භූමිය (Judith River Formation) ඩයිනසෝර පොසිල සඳහා ප්‍රකටය. ‘මොන්ටානා බෑඩ්ලන්ඩ්ස්’ (Montana's Badlands) නමින් හැඳින්වෙන මෙම භූමියේ, පොසිල විද්‍යාඥයෝ නිරන්තරයෙන් කැණීම් කරති. ඒ, වසර මිලියන ගණනක් අතීතයේ මිහිමත රජ කළ දැවැන්තයන් හෙවත් ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථි සොයමිනි. 2019 වසරේ දී කැණීම් කරමින් සිටි පොසිල විද්‍යාඥයන්ට ඩයිනසෝර හිස් කබලක් සහ තවත් අස්ථි කොටස් කීපයක් සොයා ගැනීමට හැකිවිය. හිස් කබල සහ අස්ථි අයත් ඩයිනසෝරයා සෙරටොප්සියා (Ceratopsia) වර්ගයට අයත් එකකු බව මූලික අධ්‍යයනවලින් පැහැදිලි විය. 

ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් අං සහිත ඩයිනසෝරයාගේ පොසිල එකලස් කළ පසු.

වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ රජ කළ දැවැන්ත ඩයිනසෝරයන් අතරින්, ඒ ප්‍රකට ඩයිනසෝර විශේෂ කීපය අතරින්, සිවුපා ඩයිනසෝර විශේෂයක් වන ට්‍රයිසේරටොප්ස් (Triceratops) අප කවුරුත් හොඳින් දන්නා ඩයිනසෝරයෙකි. ට්‍රයිසේරටොප්ස් අයත් වන්නේද, සෙරටොප්සියා වර්ගයටයි. ට්‍රයිසේරටොප්ස් යනු නාසයට ඉහළින් සහ හිසේ ඉදිරිපස නළලේ දිගු උල් අං ඇති ඩයිනසෝරයෙකි. ට්‍රයිසේරටොප්ස්ට අං තුනකි. 

2019 වසරේ කැණීම්වලින් හමුවුණු ඩයිනසෝරයා ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝරයකු වුණත්, ඇත්තේ අං දෙකක් පමණි. එහෙයින්, වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ එම ඩයිනසෝර හිස් කබල සහ අස්ථි කොටස් දිගටම අධ්‍යයනය කිරීමේ දී විද්‍යාඥයන්ට පැහැදිලි වූයේ මෙම ඩයිනසෝරයා වෙනත් ඩයිනසෝර විශේෂයකට අයත් එකකු බවත්, ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝරයන්ගේ ඥාතියකු විය හැකි බවත්ය. 

පොසිල විද්‍යාඥයන් ඩයිනසෝරයා නම් කර ඇත්තේ ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් (Lokiceratops rangiformis) යන නමිනි. ඊට හේතුව, වසර මිලියන 78 කට, එදා එම භූමියේ ජීවත් වූ මේ දැවැන්තයාගේ පෙනුමය. සාමාන්‍යයෙන් ට්‍රයිසේරටොප්ස් ඩයිනසෝරයන්ට විශාල හිස් ආවරණයක් ද ඇත. හිසේ අං පිහිටන්නේ එම හිස් ආවරණය හරහාය. ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස්ට තිබෙන්න ඇතැයි පැවැසෙන හිස් ආවරණය වර්ණවත් එකක් වන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. ඊට හේතුව, ගැහැනු සතුන් ආකර්ෂණය කර ගැනීමය. 

වසර දෙකක් තිස්සේ ලබා ගත් දත්ත අනුව, විද්‍යාඥයන්, ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස්ගේ පරිගණක සිතුවම් කීපයක් නිර්මාණය කළේය. මේ සටහන සමඟ පළ වන්නේ ද එම පරිගණක සිතුවම්ය. විද්‍යාඥයන් ඩයිනසෝරයාගේ දිගු දැවැන්ත අං තැඹිලි පැහැයෙන් වර්ණ ගැන්වීය. හිස් ආවරණය සහ හිස කොළ, තැඹිලි සහ කහ වර්ණ එක් කළේය. විද්‍යාඥයන්ට අවසානයේ සිහි වුයේ නෝර්ස් දේව කතාවල (ස්කැන්ඩිනේවියානු රටවල දේව කතා) දෙවියෙකි. ඒ දෙවියා ලොකී ය. ලොකී යනු නපුරෙකි. රැවටිලිකාරයෙකි. මාවල් චිත්‍රපට සහ රූපවාහිනී කතාවලින් ද ලොකීගේ චරිතය ලොව පුරා ජනප්‍රියය. එහෙයින්, නව ඩයිනසෝරයා ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් ලෙස නම් කෙරුණි. 

උතුරු ඇමෙරිකාවෙන් සොයා ගත් විශාලතම අං සහිත ඩයිනසෝරයා

ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් යන්නෙහි අරුත, ලොකීගේ මෙන් අලංකාර හිස් ආවරණයක් ඇති කැරිබු ගෝනකුගේ මෙන් දිගු උල් අං ඇති ඩයිනසෝරයා යන්නය. ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් වැනි නමක් මෙම නව ඩයිනසෝරයාට යෙදීම අසාමාන්‍ය නමුත්, විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ, ඩයිනසෝරයාගේ අසාමාන්‍ය පෙනුම නිසා ඔවුන් මේ විදියේ අමුතු නමක් ඊට ලබා දුන් බවය. 

නව ඩයිනසෝරයා සොයා ගැනීමට දායක වෙමින්, ඩයිනසෝරයාගේ හිස් කබල සහ අස්ථි එකලස් කර, පරිගණකයෙන් ඩයිනසෝරයා නිර්මාණය කිරීම සිදුවූයේ ඇමෙරිකාවේ යූටා ජනපද විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යා මහාචාර්ය මාර්ක් ලෝවේන්ගේ මැදිහත් වීමෙනි. ‘මෙයා දැවැන්තයෙක්. ඒත් ශාක භක්ෂකයෙක්. අතීතයේ වගුරු සහිත ප්‍රදේශයක මේ ඩයිනසෝරයා ජීවත් වෙන්න ඇති. උල් අං තිබුණත් මේ සත්වයා ප්‍රචණ්ඩකාරියකු නොවෙයි. අහිංසකයෙක්.’ යැයි මහාචාර්යවරයා මේ ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් සම්බන්ධයෙන් පෙන්වා දී තිබේ. 

මාවල් චිත්‍රපට සහ රූපවාහිනී කතාවලින් ද ලොකීගේ චරිතය ලොව පුරා ජනප්‍රියය.

වසරක කාලයක් තිස්සේ ඉතා ඉවසීමෙන් එකලස් කළ ඩයිනසෝර් හිස් කබල සහ සෙසු අස්ථි කොටස්, ඩෙන්මාර්කයට රැගෙන යනු ඇති බවත්, එ්වා හැමදාම ඩෙන්මාර්කයේ පොසිල විද්‍යා කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තැබීමටත් නියමිත බවත් පැවැසෙයි. එහෙයින් නෝර්ස් දේව කතාවල ප්‍රධාන දෙවියකු වන ලොකීගේ නමින් ඩයිනසෝරයා නම් කිරීම උචිත බව ද මහාචාර්ය මාර්ක් ලෝවේන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. ඩෙන්මාර්කය ස්කැන්ඩිනේවියානු රටකි. 

ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් දිග මීටර් 6.7 කි. බර ටොන් 5 කි. ඒ අනුව, උතුරු ඇමෙරිකාවෙන් සොයා ගත් විශාලතම අං සහිත ඩයිනසෝරයා ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් බව ද පැවැසෙයි. කැණීම් කරමින්, ලොකිසේරටොප්ස් රැංගිෆෝමිස් හිස් කබල සහ අස්ථි කොටස් සොයා ගැනීමට මහාචාර්ය මාර්ක් ලෝවේන්ට, තවත් විද්‍යාඥයකුගේ සහාය හිමි වී ඇත. ඔහු කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ජෝසප් සර්ටිච්ය. 

ලුසිත ජයමාන්න 

ඩේලිමේල් ඇසුරිනි

Post a Comment

0 Comments